යාවත්කාලීන නොවූ නාරාහේන්පිට සෙඩ් එක…..

0
203

වර්තමානයේ රටේ උද්ගතව ඇති දේශපාලන හා ආර්ථික අරාජිකත්වය හිටි හැටියේ ඇති වූවාක් නොව කාලයාගේ ඇවෑමෙන් රට කරවන වුන්ගේ නොහැකියාව හා අමනෝඥ, අදූරදර්ෂි ක්‍රියාවන් ගේ අනුහසින් පරදේශක්කාරයන්ගෙන් මෙරට නිදහස් වූ දින සිට බලයට පත්වූවන්ගේ කෙරුවාවන්හි අඩුවැඩිය මත සිදුවූවකි. මාරුවෙන් මාරුවට බලයට පත් වූ අමන පාලකයන්ට රාජ්‍ය පරිපාලනය කෙරෙහි දැනුමක් හැකියාවක් දූරදර්ෂිව තීරණ ගෙන කටයුතු කිරීමේ හැකියාවක් නොතිබුනද, හොරකම, දූෂණය, වංචාව ඇස් ඉස් මස් ලේ නහර වල පවා උතුරා ගලන්නට තරම් විය. උන් බලයේ ඉන්නට ගහපු කෂ්ඨ කයිරාඨික දහන් ගැට, නූල් සූත්තර මේ රට සංවර්ධනය කරා මෙහෙයවන්නට යෙදවුවා නම් මේ රට අද සුරපුරයකි.

සොරෙක්ට, මංකොල්ලකරුවෙකුට, මංපහරන්නකු හෝ යාචකයෙකුට වුවද යම් ආත්ම ගරුත්වයක් ප්‍රථිපත්තිගරුකත්වයක් ඇත්තේය. ඒත් සුදුපිරුවට හැද මහජන ධනය තම ප්‍රවේණිගත බූදලයක් සේ සලකා මලකුණකට වැදි ඉහද පණුවන් රැලක්සේ පාට පක්ෂ බේදයක් නැතිව එකාවන්ව එක්ව කාබී විනාශ කර පොදි ගසාගෙන නොදන්නා වුන් මෙන් හිදින මේ වැනි සොර මුලකට ප්‍රථිපත්තියක්, හිරිකියක්, විලිබියක් ඇත්තේම නැත්තේය. නොකියාම බැරි කවුරුත් නොදත් දෙයක් ඇත, කට හැකර කමට, කටවාචාල කමට ගිරිය පුප්පා කෑගසා කෙසේ හෝ මිනිසුන් අන්දා ඡන්දය ගෙන පාර්ලිමේන්තුවට රිංගා සුවහසක් මිනිසුන්ගේ අපේක්ෂා තුට්ටුවකට මායිම් නොකර, අරූ හොරා යැයි ඇගිල්ල දික් කරමින් හොරුන්ගෙන්ම වරදාන වර ප්‍රසාද ලබමින් උනුන් හා නිදි වදිමින් පතිවත රැකගෙන ඉන්නවා යැයි කියන්නට උත්සහා දරන්නවුන්ද, මේ නෙයියාඩගම හරි හැටි නොදන්නා පාක්ෂකයින්ද උන් කියනා දේවල් ඇස් උඩ තියන් අසා ඉන්නා අතර තුර, අපේ එකා හින්දා තමයි උන් කරලා තියෙන හොරකම් ටිකවත් අපිට දැනගන්නවත් ලැබුනේ යැයි ආඩම්බරයෙන් පවසයි. උන්ගේ එකාද හොරුන් හා නිදිවැද වරදාන වර ප්‍රසාද ලබාගත් බව උන් දන්නේද නැත.

අද අපේ රටේ මිනිසුන්ට තුන් වේල කා ගන්නට බැරි වෙන තරමටම රට බංකොලොත් වී හමාරය. කුසගින්න උහුලාගත නොහැකි තැන පාරටවන් මිනිසුන් කන්නට ඉල්ලා උද්ගෝෂණ කරන්නට වූ විට කරවටක් ගිලෙන තුරුම වගේ වගක් නැතිව හිද, නින්දෙන් අවදි වූවන් ටිකක් මෙන් ගිලෙන නැවෙන් පනින මීයන් රැලක්සේ අපි ස්වාධීනයි කියමින් එකිනෙකාට ඇගිල්ල දික්කරයි. රත්වන තුර දිය සැලියේ කකුලුවා දිය කෙලියේ යැයි පිරුලක් ජනප්‍රවාදයේ ඇතත්, බඩ කට පුරාවට එකාවන්ව එකතුවී රට කා හමාර වී වගේ වගක් නැතිව සිටින අසමජ්ජාති දේශපාලුවන්ට ඉන් කිසි හෙනයක් නොවූද විද වන්නේ අහිංසක මිනිසුන්ය. වෙනස එතැනය. ඒත් අපේ එකා නම් නිර්දෝෂයි කියමින් උන්ගේ එකාට ආවඩන්නේ උගේ එකාත් හොරා කෑ එකාට හොරා කන්නට ඉඩ හසර සලසා දී අහක බලා හිදි බව පාක්ෂිකයා නොදන්නා බැවින්ය. පාක්ෂිකයා දකින්නේ කෙලවී හමාර වූ පසුව අහකට පැන අරූ හොරා යැයි ඇගිල්ල දික්කරමින් පාක්ෂිකයා අභිමුව බෙරිහන් දෙනවා දැකීමෙන්ය.

මිනිසුන් හැමදාම සිස්ටම් චේන්ජ් කරන්නට උත්සහා කර අන්තිමේ කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා යැයි කියමනක් තියෙන්නාසේ ඉන්න එකාට වඩා හිටපු එකා හොද යැයි කිීමය. කවදා හෝ දිනක හිටපු එකාට වඩා ඉන්න එකා හොද යැයි කියූ දිනයක මේ රට දියුණුය. අද වී ඇත්තේ අභියෝග හමුවේ පලා ගිය එකෙකු රටේ නායකයා බවට පත්කර ගෙන ජනතාව අකැමැත්තෙන් හෝ වුව එහි අමිහිරි ආනිසංයන් බුක්ති විදීමට සිදුවීමය. මිනිසුන් රටේ නායකත්වය දිය යුත්තේ කුමන එකෙකුටදැයි තීරණය කිරීමට සුදුසු නිර්ණායකයන් ඉතා බුද්ධි ගෝචර වූ දවසක රටක නායකත්වයට දූරදර්ෂි අභිමානවත් නායකයෙකු පත් කරවාගෙන මේ රට සංවර්ධනය කරා දක්කා ගෙන යනු ඇත. එහෙත් එක් දෙයක් අතිශෝක්තියෙන් කිය යුතුමය, එනම් වර්තමාන දේශපාලන මඩගොහොරුවේ බඩ පිණුම් ගහන එකදු සූකරයෙකු හෝ බලයට පත්කරගෙන ජනතා අපේක්ෂාවන් මුදුන්පත් කර ගන්නවා යන්න සිහිනයක්ම පමණකි.

වරින් වර බලයට පත්වූ රාජ්‍ය පාලනය ගැන අබමල් රේණුවක තරම්වත් දැනීමක් නැති අදූරදර්ෂී නීහීන නායකයින් රට ණය සාගරයක ගිල්වා කිසිත් නොදන්න වුන් සේ ජනතාවට කැපකිරීම් කරන්නයි කියමින් සුර සැප විදින අතර වාරයේ වුව ජනතාවගේ රීරී මාංශයද හුරාගෙන කයි. බඩු මිළ අහස උසටය, ඉන්ධන මිළ ඊට ඉහලය. ඉන්ධන මිල දිනෙන් දින ඉහල යන කාල වකවානුවක ඩීසල් ලීටරයක් රු. 289 ක් වැනි මිළකට ජනතාවට පෝලීමකට වී දින ගණනක් සිටියද ලබා ගත නොහැකි තත්වයකදී ඊයේ මාධ්‍ය හරහා නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම් හල මගින් මැති ඇමතිවරුන්ගේ පරිහරණය සදහා ලබාදී තිබෙන රථ වාහන සදහා රු. 121.19 ක මිලට ඉන්ධන නිකුත් කරන අයුරු දැක ගන්නට ලැබින. නමුත් එවැන්නක් සිදු වී නොමැති බවට බලශක්ති අමත්‍යාවරයා පාර්ලිමේන්තුව තුලදී කරුණු පැහදිලි කරන අතර තුර වැඩිදුරටත් පවසා සිටියේ ඉන්ධන පිරවුම් හලේ ඉන්ධන පොම්පය නිසි අයුරු යාවත්කාලීන කර නොතිබු බවය. එසේ නම් ජනතාව දත යුතු එක් දෙයක් ඇත. එම ඉන්ධන පිරිවුම් හලින් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්හට ඉන්ධන නිකුත් කරන්නට ඇත්තේ අද ඊයේ නොවන අතර, එය ආණ්ඩු පක්ෂ විරුද්ධ පක්ෂ යනුවෙන් බේදයකින් තොරව මැති ඇමති වාහන සදහා ඉන්ධන නිකුත් කරන්නට ඇත. ඉන්ධන පොම්පය යාවත්කාලීන කිරීමට නොහැකි වූවා නම් ඉන්ධන රු. 121.19 ක මිලකට ලබා දුන්නේ මීට මාස 05 කට පමණ පෙරය. අද පාර්ලිමේන්තු සැසි වාරය අතර තුර විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද ගිරිය පුප්පා මේ පිලිබදව විවේචනය කලද, මුන් රැල එදා සිට මේ දක්වා පක්ෂ විපක්ෂ බේදයකින් තොරව අඩු මුදලට ඉන්ධන ලබාගෙන දැන් එය මාධ්‍ය මගින් අණාවරණය වූ පසුව තමන්ගේ හෙලුව වසා ගැනීමට උත්සහා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here